Wednesday, November 9, 2011

ප්‍රතිවිරෝධතා

තමා ජීවත්වන ලෝකයේ සිදුවීම් දෙස බලන අයෙකු දකිනුයේ ලෝකය සංකීර්ණ ප්‍රතිවිරෝධතා පද්ධතියකින් පිරී ඇති බවකි. පෞද්ගලික ගෘහ ජීවිතය දෙස බැලුවද, සමාජය දෙස බැලුවද, දේශපාලන ක්‍රියාකාරකම් දෙස බැලුවද සෑම තැනකම අයෙකුට දැකිය හැකි වන්නේ ප්‍රතිවිරෝධතා රැසකි. ලෝකය තුල පවතින ප්‍රතිවිරෝධතා කොතරම් සංකීර්ණද කිවහොත් අයෙකු මුලාවට පත්කරවන තරම්ය. විශේෂයෙන්ම දේශපාලනයේ පවතින ප්‍රතිවිරෝධතා තේරුම් ගැනීම හා හරිහැටි හදුනා ගැනීම කොතරම් දුෂ්කරද යත් ඕනෑම අයෙකු බරපතල ලෙස රැවටීමට ලක්වීමට පුළුවන. එහෙත් එකී ප්‍රතිවිරෝධයන් දෙස වඩාත් සමීපව බලන විට න්‍යායික විග්‍රහයක් සහිතව පංති දෘෂ්ටියකින් බලන විට මතුපිටින් අවුල්ජාලයක් සේ පෙනෙන සියලු ප්‍රතිවිරෝධතාවල සැබෑ ස්වරූපයත්, ඒවා එසේ පැවතීමට හේතුවත්, ඒවායේ ප්‍රතිඵල කුමක් විය හැකිද යන්නත් අවබෝධ කරගත හැකි වනු ඇත.

ප්‍රතිවිරෝධතා නිවැරදිව හඳුනා ගැනීම
මාක්ස්වාදී දර්ශනයට අනුව අප ජීවත් වන භෞතික ලෝකයේ පවතින සියලුම දේවල් ( වස්තූන්, ක්‍රියාවලීන් හා ප්‍රපංචයන්) චලිතයක හෙවත් වෙනස් වීමක පවතී. මෙම චලනය තුළ සියලු දේවල් එක්කෝ වර්ධනය වෙමින් හෝ නැතිනම් අභාවයට යමින් පවතී. ඕනෑම වස්තුවක හෝ ප්‍රපංචයක ප්‍රතිපක්ෂ දෙකක් හෙවත් පාර්ශ්ව දෙකක් පවතින බවත්, ඒවා එකිනෙකට අන්තර් සම්බන්ධිතවද, එකක් අනෙක මත රඳා පවතිමින්ද, තිබෙන බවත් ඒ අතරම ඒ පාර්ශ්ව දෙක අතර ගැටුමක් පවතින බවත් අප ප්‍රතිවිරෝධතාව ලෙස හඳුනාගන්නා එම ගැටුම විසින් අදාළ වස්තුවේ පැවැත්ම හා ගමන් මඟ තීරණය වන බවත් මාක්ස්වාදය පැහැදිලි කර තිබේ. මෙලෙස පවතින ප්‍රතිවිරෝධතාද වර්ග රැසක් හඳුනාගත හැක. ඒවා,
(1) මූලික හා මූලික නොවන ප්‍රතිවිරෝධතා,
(2) සතුරු හා සතුරු නොවන ප්‍රතිවිරෝධතා,
(3) අභ්‍යන්තර හා බාහිර ප්‍රතිවිරෝධතා වේ.

අප අවට පවතින ප්‍රතිවිරෝධතා සංකීර්ණ පද්ධතියක් ලෙස පෙනෙන්නේ මෙම විවිධත්වය නිසාය. එහිදී යම් වස්තුවක හෝ ක්‍රියාවලියක පවතින මූලික ප්‍රතිවිරෝධය කුමක්ද? මූලික නොවන ප්‍රතිවිරෝධතා මොනවාද? අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා හා බාහිර ප්‍රතිවිරෝධතා මොනවාද? යනුවෙන් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වුවහොත් ඕනෑම අයෙකු බරපතල ලෙස වරද්දා ගැනීමට ඉඩ තිබේ.

අපට හමුවන සරල භෞතික වස්තූන් තුළදී හෝ එවැනි භෞතික රසායනික ක්‍රියාවන්හිදී බොහෝ විට ප්‍රතිවිරෝධතා රැසක් හමුවෙනවා වෙනුවට බොහෝවිට හමුවන්නේ සරල එක් ප්‍රතිවිරෝධයක් පමණි. විදුලි කෝෂයක හෙවත් බැටරි කෑල්ලක ක්‍රියාකාරීත්වය ගත් විට එහි ප්‍රතිවිරෝධය පවතින්නේ ධන හා සෘණ අග්‍ර දෙක අතර නිසා එය හඳුනා ගැනීම පහසුයි. එහෙත් දේශපාලනය වැනි සමාජ විද්‍යාවන්ට අයත් ​ක්ෂේත්‍රයකදී මේ ප්‍රතිවිරෝධයන් හඳුනා ගැනීමට නොහැකි තරම් සංකීර්ණයි. එහෙත් ඒ සංකීර්ණ ප්‍රතිවිරෝධතා විද්‍යාත්මකව හඳුනාගත යුත්තේ දේශපාලනය තුළ පවතින ක්‍රියාදාමයන් පාලනය කිරීමට එය අත්‍යාව
ශ්‍ය වන බැවිනි. සමාජයේ අනෙක් ක්ෂේත්‍ර තුළ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළද යහපත් දේ මෙන්ම අයහපත් දේද පවතී. පොදුවේ ගත් විට වැඩිපුර දැකිය හැක්කේ අයහපත් වර්ධනයන්ය. දේශපාලනය තුළ සිදුවෙමින් පවතින අයහපත් දේ පරදවා යහපත් දේ ජයග්‍රහනය කරවීම යමෙකුගේ අරමුණ නම් ඔහු සියල්ලට ප්‍රථම දේශපාලනයේ පවතින ප්‍රතිවිරෝධතාවයන් හරිහැටි හඳුනාගත යුතු වේ.

දේශපාලනයේ පවතින මූලික ප්‍රතිවිරෝධතාව
අප ජීවත් වන සමාජයේ පවතින දේශපාලනය, පන්තිමය දේශපාලනයකි. ඕනෑම දේශපාලන පක්ෂයක් කිසියම් සමාජ පන්තියක් හෝ පන්ති කණ්ඩායමක් නියෝජනය කරන පන්ති සංවිධානයක් වේ. එහි අරමුණ තම පන්තියට රාජ්‍ය බලය ලබාගැනීම හෝ ලබාගත් බලය ආරක්ෂාකර ගැනීම සහ ව්‍යාප්ත කිරීම වේ. මෙම බලය ලබා ගැනීමට, ආරක්ෂාකර ගැනීමට සහ ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයේදී දේශපාලන පක්ෂ අතර මෙන්ම දේශපාලන පක්ෂ තුළද ගැටුම් ඇති වේ. දේශපාලනයේ ප්‍රතිවිරෝධතා නිර්මාණය වෙන්නේ ඒ මගිනි. න්‍යායිකව ගත් විට දේශපාලනයේ මූලික ප්‍රතිවිරෝධය පවතිනුයේ ධනපති පන්තිය හා නිර්ධන පන්තිය හෙවත් පීඩිත පන්තිය අතරය. ඊට අමතරව සුළු ධනපති පන්තියේ ක්‍රියාකාරකම් තුළද, විවිධ ධනපති පන්ති කණ්ඩායම් බලය සඳහා එකිනෙකා අතරද, එම කණ්ඩායම් වල අභ්‍යන්තර කල්ලි හා පුද්ගලයන් අතරද, එක්
රටක් තුළ රාජ්‍යය හා අන් රටවල රාජ්‍යයන් අතරද, විවිධ ආගම්, ජාතිකත්වයන්, වෘත්තීන් අතරද ආදී වශයෙන් මූලික හා මූලික නොවන ප්‍රතිවිරෝධතා රැසක් දේශපාලනය තුළ එක විට ක්‍රියාත්මන වේ. දේශපාලනයේ ක්‍රියාකාරකම් තුළ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගැනීමට නොහැකි ප්‍රතිවිරෝධතා පවතිනුයේ ඉහත තත්ත්වය නිසාය. ජාතික හා ජාත්‍යන්තර උදාහරණ කීපයක් දෙස බැලීමෙන් මෙය තේරුම් ගත හැකි වනු ඇත.

සමාජවාදී කඳවුර බිඳවැටීමට පෙර ලෝක දේශපාලනය දෙස බැලූ විට එහි පැවති මූලික ප්‍රතිවිරෝධය වූයේ සමාජවාදී කඳවුර හා අධිරාජ්‍යවාදය අතර ප්‍රතිවිරෝධයයි. ඒ අතර සමාජවාදී කඳවුර තුළද අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා කිහිපයක් පැවතුණි. ඒවා නම් චීන-සෝවියට් ප්‍රතිවිරෝධය හා ස්ටාලින්වාදය-ට්‍රොට්ස්කිවාදය අතර ප්‍රතිවිරෝධයයි. ඒ අතරම ධනවාදී කඳවුරේද අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා කිහිපයක් පැවතුනි. එනම්, අධිරාජ්‍යවාදී රටවල් අතර ප්‍රතිවිරෝධය හා අධිරාජ්‍යවාදී රටවල් හා පසුගාමී ධනපති රටවල් අතර ප්‍රතිවිරෝධයයි. මෙහිදී ලෝකය තුළ දේශපාලන ක්‍රියාකාරකම් නිර්මාණය වූයේ එහි තිබූ මූලික ප්‍රතිවිරෝධය වූ සමාජවාදී කඳවුර හා අධිරාජ්‍යවාදීන් අතර ප්‍රතිවිරෝධය මූලික කරගෙනය. මෙය මතුපිටින් සෝවියට් දේශය හා ඇමේරිකා එක්සත් ජනපදය අතර ප්‍රතිවිරෝධයක් විය. ආයුධ නිෂ්පාදනය, න්‍යෂ්ටික අත්හදා බැලීම්, අභ්‍යවකාශ ගවේෂණය වැනි ක්ෂේත්‍ර තුළ තිබූ තරගය හරහා මෙය පැහැදිලිව පෙනුණි.

මෙම කඳවුරු දෙක අතර ප්‍රතිවිරෝධයේදී දෙපිරිසම විසින් එකී කඳවුරු වල අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා එකිනෙකාට එරෙහිව යොදා ගත් හැටි ඉතිහාසයෙන් අපට දැකිය හැක. සෝවියට දේශය අධිරාජ්‍යවාදයට එරෙහි පසුගාමී ධනවාදී රටවල් යොදාගැනීමට උත්සාහ කළ අතර ඒ නිසාම සමාජවාදී සොවියට දේශය හා ධනවාදී රටවල් අතර මිත්‍රත්වයක් වර්ධනය විය. මෙය බැලූ බැල්මට සිදුවිය නොහැකි දෙයක් වුවද ප්‍රතිවිරෝධතාවල ස්වභාවය එය විය. අනෙක් අතට ඇමේරිකා එක්සත් ජනපදය විසින් සමාජවාදී කඳවුර පැරදවීම සඳහාද සමාජවාදී කඳවුර තුළ වූ ප්‍රතිවිරෝධයන් යොදාගනු ලැබුණි. ප්‍රතිවිරුද්ධ සමාජ ක්‍රම දෙකක් පවත්වාගෙන ගිය සමාජවාදී චීනය හා එක්සත් ජනපදය කලෙක මිතුරන් වූයේ ඒ අනුවය. චීනය හා සෝවියට් දේශය අතර වූ ප්‍රතිවිරෝධය උපයෝගී කර ගනිමින් එය සෝවියට් දේශයට එරෙහිව යොදාගැනීමට එදා ඇමේරිකාව සමත් විය. එය එසේ වූයේ, "මාගේ සතුරාගේ සතුරා මාගේ මිතුරා වන්නේය" යන සංකල්පයට අනුවය.

සතුරන් මිතුරන් වීම හා මිතුරන් සතුරන් වීම
ඒ අනුව එක් සමාජවාදී රටකට එරෙහිව තවත් සමාජවාදී රටක් හා මිත්‍රවීමට එක්සත් ජනපදය කටයුතු කළේ චීනය හා ඇමේරිකාව අතර පවතින ප්‍රතිවිරෝධයට වඩා සෝවියට් දේශය හා ඇ​මරිකා එක්සත් ජනපදය අතර පවතින ප්‍රතිවිරෝධය ප්‍රබල නිසාය. එසේම සෝවියට් දේශයට එරෙහිව සමාජවාදී කඳවුරේ තිබූ ජාතිකත්ව ප්‍රතිවිරෝධතාද (බෙදුම්වාදී ව්‍යාපාර) ආගමික ප්‍රතිවිරෝධතාද සංස්කෘතික ප්‍රතිවිරෝධතාද උපයෝගී කරගත් ඇමේරිකා එක්සත් ජනපදය අවසානයේ සාර්ථක වූයේ සමාජවාදි කඳවුර බිඳ දමමිනි. එහිදී සතුරන් මිතුරන් වන හැටිද මිතුරන් සතුරන් වන හැටිද පෙනෙන්නට තිබුණි. ඒ සියල්ල එක් අරමුණක් හෙවත් උපායමාර්ගයක් සඳහා ඉලක්ක කර තිබුණි. ඒ සමාජවාදී කඳවුර බිඳ දැමීමයි.

සමාජවාදී කඳවුර බිඳ දමන තෙක් තමන්ගේ මිතුරන් වූ චීනය පිළිබඳව, සමහර ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් (තලේබාන් වැනි) පිළිබඳව එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිය වූයේ කුමක්ද? තම අරමුණ ඉටු වූ වහාම යළි ඔවුන්ට එරෙහිව සටන් වැදීමය. ඒ අනුව පෙනෙන්නේ දේශපාලනයේ පන්ති අරමුණු ඉලක්ක කර ගනිමින් ප්‍රධාන පන්ති නියෝජනය කරන බලවේග සමාජය තුළ පවතින ප්‍රතිවිරෝධතා තම උවමනා වෙනුවෙන් යොදා ගැනීමකි. ලංකාවේ ජාතික දේශපාලනය තුළද ප්‍රතිවිරෝධයන්ගේ මේ හැසිරීම දැකිය හැකිය.

ලංකාවේ වත්මන් දේශපාලනය තුළ පවතින ප්‍රතිවිරෝධතා හඳුනා ගත යුත්තේ රටේ දේශපාලනයේ අයහපත් වර්ධනයන් පරදා යහපත් වර්ධනයන් බිහිකිරීම වෙනුවෙනි.